Thursday, January 6, 2011

මෙම සතිය තුළ 2010 අ.පො.ස. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සිදුවන බැවින් පාසලේ ගුරුභවතුන්ගේ හිගයක් පැවතුනත් සිසුන්ගේ පැමිණීම ඉතා යහපතය.
මේ වන විට ප්‍රාථමික අංශයේ පළමු ශ්‍රේණියේ දරුවන් හදුනා ගැනීමේ ක්‍රියාකාරකම් සිදුකරමින් පවතී.
දෙමාපියන් ගේ ශ්‍රමදායකත්වයෙන් අද දින පංති කාමර අලංකාර කිරීමට නියමිතය.
විදුහල්පති තුමාගේ මූලිකත්වයෙන් පළමු ශ්‍රේණියේ දෙමාපිය හමුවක් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී ප.ව.2.30 ට පැවැත්වේ. එහි දී පළමු ශ්‍රේණියේ දරුවන් පිළිගැනීමේ උත්සවය සැලසුම්කර ගැනීමට නියමිතව ඇත.
තවද පාසලේ අභිවෘදිය සඳහා හෙට දිනයේ දී ආදී ශිෂ්‍ය සංගමයේ රැස්වීමක් පැවත්වීමට ද නියමිතව ඇත.

Tuesday, January 4, 2011

සුබ නව වසරක් වේවා!

අළුත් අවුරුද්ද සඳහා පළමු පාසල් වාරය 2011 ජනවාරි 03 වන දින නව සිතුම් පැතුම් පෙර දැරිකොට ගෙන ආරම්භ කරන්නට යෙදුණි.
නමුත් එදින මුලින්ම පාසල් රැස්වීමේ දී ප්‍රකාශයට පත්වූයේ අතිශයින්ම කණගාටු දායක සිදුවීමකි.එනම් පසු ගිය නිවාඩු කාලයේ දී අප විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් හදිසි අනතුරකින් මිය ගිය බවය.මේ වෙනුවෙන් පාසලේ සැවොම විනාඩි දෙකක නිහඩතාවයකින් දරුවාට නිවන්සුව ප්‍රාර්ථනා කළහ.
ඉන් අනතුරුව විදුහල්පති තුමාගේ මූලිකත්වයෙන් පාසලේ වැඩකටයුතු සුපුරුදු ආකාරයට කරගෙන යන ලදී.